එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා කෘතිය.

           මළගිය ඇත්තෝ නව කතාව ආරම්භයේදීම එහි දෙවැනි කොටසක් පිළිබඳව සංශ්‍යාර්ථා ඉගියක් කතුවරයා විසින් කරන ලදී .

          "කවදහරි මෙහි දෙවන කොටස මට ලියන්නට ඉඩ ලැබෙන්නට පුළුවන" යනු එම ඉඟියයි.

          මළගිය ඇත්තෝ ප්‍රබන්ධ කොට වසර හයකට පසු 1965 එහි දෙවැනි කොටස මළවුන්ගේ අවුරුදු දා නමින් පළවිය. එය වෙනමම නවකතාවක් වුවත් මළගිය ඇත්තෝ නවකථාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට නම් මේ මළවුන්ගේ අවුරුදු දා නවකතාව කියවිය යුතුය. විශේෂයෙන්ම නොරිකෝසංගේ අප නොදුටු ඉසව් රාශියක් මළවුන්ගේ අවුරුදු දා  තුළින් හඹා යා හැකිය. එපමණක්ද නොව දෙවොන්දරාසං, නකජීමාසන්, මෙමෙකෝසන් වැනි චරිත පිළිබඳව වැඩි මහත් විස්තර මෙම නවකතා තුළින් අපට ලබාගත හැකිය. 

          මළගිය ඇත්තෝ නවකතාව අපට ඉදිරිපත් කරනුයේ දෙවොන්දරාසංගේ මාර්ගයෙනි. ඒ නිසා ඔහු පිළිබඳ වැඩි විස්තරයක් එහි දක්නට ලැබේ. අනෙකුත් චරිතාපදාන පිළිබඳ ඔවුන් බොහෝ විට අපට දැකගත හැකි වන්නේ දෙවොන්දරාසංගේ දුෂ්ටිකෝණයෙනි. මළවුන්ගේ අවුරුදු දා කෘතියෙහි කතිකයා නොරිකෝසං වන බැවින් ඇය පිළිබඳව වැඩිමනත් විස්තර චරිත ගැන නොරිකෝසංගේ දෘෂ්ටිය තුළින් අපට දැකගත හැකිය. මළගිය ඇත්තෝ නවකතාවේ දී නොරිකෝසංගේ චරිතය අප නුදුටු ඉසව් රාශියක් මළවුන්ගේ අවුරුදු දා කෘතිය තුලින් එළි දැක්වේ.  දෙවොන්ඳරාසන්ට ජපන් භාෂාව ඉගැන්වීම සඳහා මිසෝගුචි නමැති කාන්තාවක් එයි. දිනක් පාඩම උගන්වා දෙවොන්දරාසං ඇය සමඟ සාමීචි බස් දොඩයි. ඒ ගැන උරණ වන නොරිකෝගෙන් පිටව යන්නට සැරසෙයි. නොරිකෝසං නමැති චරිතයේ හැසිරීම පෙර මලගිය ඇත්තෝ කෘතියට වඩා වෙනස් අන්දමට මෙම මළවුන්ගේ අවුරුදු දා කතාවෙන් විස්තර වේ. "දෙවොන්දරාසං මට යන්නට නොදී මග අහුරා ගත්තේය. මම ඔහුගේ මුහුණ දෙස බැලීමි. එහි වූ ස්මිතය මා කෙරෙහි අවධානය පතන්නක් මෙන් විය  ඔහු මට සිනාසේ. මගේ ජීවිතය ගැටලුව ඔහුට විහිළුවකි. මගේ සිත ක්ෂණයෙන් මුරණ්ඩු විය. කෝපයෙන් හිස රත් විණි. මා  තමාගේ ක්‍රීඩා භාණ්ඩයකට පෙරලා ගන්නට මම ඔහුට ඉඩ නොදෙමි. මම ඔහු පසෙකට තල්ලු කර දොර ගාව ගියෙමි. මට ඔහුට වඩා වෙර තිබෙන බව එවෙලෙ මම පසක් කර ගතිමි. එහෙත් ඔහුගේ මොලේ ශීඝ්‍රව ක්‍රියා කරයි. ඔහු වහා දොර අගුල්ලා යතුර අතට ගත්තේය. මම ඔහු වෙතට පැන ඔහුගේ අතින් යතුර ගන්න දෑගලුවෙමි."

           තම ජීවිතයේදී දුක් ගැහැට සමග මුහුකුරා ගිය නොරිකෝ මෙහිදී ක්‍රියා කරන්නේ තරම් හැඩිදැඩි ස්වරූපයකිනි. වෙනදා දෙවොන්දරාසංගේ බසට අවනත වන කීකරු දැරියක මෙන් සිටි ඇය දෙවොන්දරා සං සමඟ පොරබදන ස්වරූපයක් දැකිය හැකිය. දෙවොන්දරාසංගේ ක්‍රියාකලාපය ඉවසාගත නොහැකිව නොරිකෝ අවසාන භාගයේ පිස්සියක මෙන් කෝපයෙන් රත් වී අසුවන අසු වන දෙයින් පහර දෙන බව දැක්විය හැකිය.

          "ඔව් ලියන්න අත්දැකීම් ගැන. කොයි වගේ ගැහැනියක් ද හම්බ උනේ කියලා ලියන්න. වැටුන හැටි විස්තර කරන්න. ඈ කොයිතරම් දුෂ්ටද කියලා ලෝකයට කියන්න. ජපන් ගෑනු මෝඩයි. පිටරටින් එන ඕනෑම පිරිමියෙකුට අහුවෙනවා. ඒගොල්ලන්ගෙ චාටු වචන වලට රැවටෙනවා. යසුදා කියපු එක ඇත්ත දැන් ඉතින් නිදහසෙ ලියන්න. මං හිටියට මොකද ලෝකයාගෙන් තවත් කීර්තිය ලබා ගන්න පුළුවන්. බොරු ඔය කියන්නේ කීවේ ඕනෙ නෑ කියලා දැන් පුලුවන් අපූරු කතාවක් ලියන්න.එක අර තෝජුරෝගේ කතාව වගේ වුනොත් වඩාත් කැමති ඇති"

           "මගේ අතට අසුවන දේ අහුලා ඔහුගේ ඇඟට ගැසුවෙමි. නිමේෂයක පමණ බැලීමක් ඔහුගේ අවයවයන්හි මා දකින්නට ඇත. මා ඔහු දෙසට හෙලූ කිසිවක් මුහුණේ වැදි බියෙන් ඔහු වරක් අත එසවූයේය. ඒ හැරුණු විට මගේ දිසාවෙන් ආ ප්‍රහාර වර්ෂාව ඔහු ඉවසාගෙන සිටියේ මද කම්පාවක් නොදක්වමිනි. මා කෙබඳු දේ විසි කළා දැයි නොදනිමි. ඔහුගේ මූණු මගේ දෘෂ්ටිපතයෙන් ඉවත් කරන අටියෙන් මම සබුතොන් රැගෙන ඊට එල්ල කොට හෙලිමි. කුයිම ඔහුගේ නළල මත වැටී පිටිපසට ලිස්සා  ගියේය. තරමක් බලවත් පහරක් ඔහුට වැදෙන්නට ඇතැයි මම සිතමි...."


          නවකතා අවසානයේදී සිදු වන මේ අක්‍රෝෂ පරිභව සහ පහරදීම නොරිකෝසං වෙතින් පමණක් නොව කවර තරමේ ස්ත්‍රියකගෙන් වුවත් සිදුවිය හැකි දෙයකි.වයස අවුරුදු 20 ක භද්‍ර යෞවන වයසේ සිට වසර ගණනාවක් පෙම්කර විවාහයට සියලු කටයුතු පිළියෙල ව තිබියදීත් ඒ කිසිවක් පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව ජීවිතය ගැන බණ දේශනා කරමින් ජීවිතයෙන් පලා යන මිනිසෙකුට ස්ත්‍රියකගෙන් මීට වැඩි දෙයක් වුවද සිදුවිය හැකිය. මේ නිසා මළවුන්ගේ අවුරුදු දා කෘතියේ දී අපට හමුවන නොරිකෝසං අත්දැකීම් බහුල ජීවිත ගැටලුවලින් අන්තයටම පීඩනයට පත් ඉතා සංවේදී මනෝභාවයන්ගෙන් යුක්ත අසරණ කාන්තාවක් ලෙස දැක්විය හැකියි. නවකතාවේ ප්‍රකට නොවූ දෙවොන්දරාසංගේ බොහෝ චරිත ලක්ෂණ ද මළවුන්ගේ අවුරුදු දා කෘතිය තුළ දක්නට ලැබේ. ලෝ ප්‍රකට කලාකරුවකු වූ දෙවොන්දරාසංගේ බොහෝ චරිත ලක්ෂණ ද මළවුන්ගේ අවුරුදු දා කෘතිය තුළ දක්නට ලැබේ.ලෝකප්‍රකට කලාකරුවකු වූ දෙවොන්දරාසං ගේ මනස තුළ නාරි ලාලිත්‍යයෙන් යුත් මනෝගත ස්ත්‍රී රූපයක් තිබෙන්නට ඇති බව ඉහත උපකල්පනය කලෙමු. සත්‍ය වශයෙන්ම එවැනි රූපයක් ඔහුගේ සිතෙහි තිබෙන්නට ඇති බව නොරිකෝසන්ද විශ්වාස කළ බව පෙනේ.

          "  මා හැඩ වැඩ දමා ආභරණ පළඳවා නෙත්කලු යුවතියක් කරන්නට තැත් කරන  නිසා ය. එහෙත් මම චාම් පෙනුමෙන් යුක්ත කෙනෙක්මි. කෙතරම් හැඩ වැඩ දැමීම ද මම රූමතියක් බවට නො පෙරළෙමි. තම කල්පනාවෙන් ඇති දිව්‍ය අප්සරා රූපයකට සමාන කොට ඔහු මා අඬන්නට සැරසෙයි...."

          දෙවොන්ඳරාසන් නොරිකොගේ  රූපලාවන්‍ය කෙරෙහි පමණක් නොව ඇගේ සෞඛ්‍ය මානසික සහනය ද සලසා කටයුතු කළ හැටි මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙන් පෙන්නුම් කෙරේ. ඔහු තුල පැවති කාරුණික බව වෙනත් යහපත් ගුණ යහපත්කම පිළිබඳ නොයෙක් විට නොරිකෝසං විසින්ම එහි දක්වා තිබේ. 

          "ඔහු මට අතිශයින් කරුණාවන්තයි. මගේ සැප සනීප ගැන නිතර අසා බලයි. මට හෙම්බිරිස්සාව හැදීගෙන බව කී විට ඔහු ක්ෂණික බෙහෙත් ගෙනැවිත් මට දුන්නේය. මා සඳහා ඔහු දිනපතා කිරි හා මුදවපු කිරි ගෙන්වා ගනී. ඒ බව මට නිතරම මතක් කර මා බොන තුරු බලා සිටි .මට වරක් හැදුනු හර්දයාබාදය ගැන කී විට මා කැටුව වෛද්‍යවරයෙකු ගාවට ගොස් එක්ස්රේ ඡායාරූප ගන්නට ඔහු සැරසුණේය. ඒත් මම එය ප්‍රතික්ෂේප කලෙමි..."

          දෙවොඳරාසන් කලා රසාස්වාදයේ දී උපරිම කාලයක පිහිටියත් ජීවිතය සම්බන්ධ ගැටළු වලදී ඔහු දැක්වූ උදාසීන ආකල්පයකි. ඒ නිසා ඔහු මානසික ආතතියෙන් පෙළුණු නිෂ්ක්‍රීය චරිතයක් ලෙස අපට මළගිය ඇත්තෝ නවකතාවේ දී පෙනුනි. ඒත් මේ නවකතාවේ ඇතැම් තැනකදී නොරිකෝ පමණක් නොව අන්‍ය ජනයාද බියගන්වන සුළු ලෙස හැසිරුණු සැටි දැකිය හැකිය.

          " ඔහුගේ ස්වරූපය හදිසියේ ඇති වූ වෙහෙසත් සියලු දෙනාම තැති ගත්තා මෙන් නිහඩ වූහ. ඔහු සුරා මතින් මෙසේ දොඩති යැයි සිතන්නට ඇත.ඔහු කෙසේ වෙතත් මම වහා ඔහුගේ අණට අවනත විමි.මත එය සැනසීමක් විය. මා පියාණන් මෙන් දෙවොන්ඳරාසන්ද ඕනෑවට වඩා ලෙහෙසි පහසු කෙනෙක් යැයි මම නොයෙක් වර සිතුවෙමි. ඉඳහිට වුවද ඔහු ආඥාවර්ති ස්වරූපයෙන්  හැසිරෙනම් මට කොපමණ සැනසිල්ලක්ද?

          ඔහු ඍජුවම තම සිතැඟි  පතන්නේ නම් මට කොතරම් මැනවි ද? නැතහොත් මම දියෙහි යන දණ්ඩක් මෙන් කිසිවෙකුගේ පිහිට නැතුව ඒ මේ අත පාවෙමි..."

           දෙවොන්දරාසං තුළ මේ පෞරුෂ ලක්ෂණ මතු වන්නේ ද ඉඳහිටය. වැඩි  වශයෙන් දක්නට ලැබුණේ කරුණාව, දයාව හා අනුකම්පාව වැනි උත්තරිතර මානුෂීය ගති ගුණය.ඒ අමතරව වෛරය, ද්වේෂය හා ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ ද ඔහුගේ මනස තුළ තැන්පත් ව වරින් වර මතු වෙන සැටි ද අපි දකිමු. කෙසේ වෙතත් ඔහුට ජීවිතේ සම්බන්ධ ගැටළු වලදී නම් තිරසාර ආකල්ප නොතිබුණි. නිතර දෙගිඩියාවෙන් පෙළුණු හෙතෙම  පිටත අර්බුද වලදී නිදි පෙති වල සරණ පැතීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දෙවොන්දරාසං මළගිය ඇත්තන් අතරට ඉක්මනින්ම යාමයි. එවැනි පැතුමකින් සිටි නොරිකෝසං මෙලෙස ඉතිරිවිය. ඒත් ඇය දෙවොන්දරාසං මෙන් මානසික රෝගියෙක් නොවේ. සිය පියාණන් ඇතුළු ඥාතීන් සිටින පාරම්පරික සොහොනට දෙවොන්දරාසං ඇතුළු කරන නොරිකෝසං සිත සනසා ගනී.

          ඇය ලෝකයේ අනිත්‍ය ධර්මය සිහි කරන්නේ දෙවොන්දරාසං මෙන් වියරුවෙන් නොව පියවි සිහියෙන් බව මෙසේ පවසන්නීය.

          " එනකොට හෙට ඔබ නෑ ඔබ ඉන්නේ අද විතරයි.අද දවස හමාර වුණාම හෙට දවස අදත් හෙටත්  දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා, හෙට මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනව, බොනව ,කතාබහ කරනවා.. මං මේ ඔක්කොම කරනවා ඒත් මම විතරයි ඔබ නෑ ...."

           මම මෙබඳු බස්වහරක් නො දඬුවමි එබඳු බස් දොඩා ඔහු වෙහෙසෙන්නේ කුමටද? ඔහු  නිසොල්මන්ව සිටියි. සිත දැඩි කරගෙන ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර ඔහුගේ තීරණය අනිවාර්යයි. ලෝකයේ ජරා-මරණ සේ වෙනස් නොවන නියත ධර්මතාවයකි. 

          මෙසේ මළවුන්ගේ අවුරුදු දා කෘතිය නිමාවට පත්වන්නේ මළගිය ඇත්තෝ කෘතිය තුලින් නිමාවක් නොවූ ජීවිතයකට නිමාවක් එක් කරමිනි.එය යහපත්  ජීවිතයට යහපත් නිමාවක් නොවීය. ඒත් මිනිස් ජීවිත වල ස්වභාවය එසේය .ගෑනු මිනිසුන් තුල යහගුණ මෙන්ම අයහපත් ගුණත්, ප්‍රබල ගුණාංග මෙන්ම දුබල ගුණාංගද පවතී. ඒ පොදු මිනිස් ජීවිත වල හැටිය. 

          මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිය කෘති දෙක ම විග්‍රහ කර දක්වන්නේ ඒ ඒ චරිතවල අභ්‍යන්තර ලක්ෂණය. ඒවා කාල දේශ භේදයකින් තොරය. නවකතාවලින් විශද කෙරෙන මේ ජීවන තොරතුරු අපි අපේ ජීවිතවලට එක්කර ගැනීමෙන් අපේ අත්දැකීම් සම්භාරයෙන් ජීවන ධාරිතාව පුළුල් තලයකට ගෙන යමු.





Comments

Post a Comment