එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු කෘතිය.

 සරච්චන්ද්‍රයන් විසින් 1962 දී රචිත කෘතියක් ලෙස සිංහබාහු  නාට්‍ය කෘතිය ගත හැකිය. පිතු සෙනෙහස හා කැටි වූ දාරක ස්නේහය පිළිබඳව කථා පුවතක් සැකෙවින් සිංහබාහු කෘතිය තුළ අන්තර්ගත වී ඇති බව කිව හැකිය. 

      සිංහබාහු නාට්‍යයේ කථා වස්තුව පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා නම්, වගුරට  රජුගේ දියණිය වූ සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී, සිංහයා පැමිණ පිරිවෙර  පලවාහැර කුමරිය සිය පිට මත තබා වන වැදුණු බවත්, පසුව එම සිංහයා ඉමහත් ආදරයකින් කුමරිය රැක බලා ගත් බවත්, ඔවුන්ට දාව සිංහබාහු හා සිංහසීවලී යන දරු දෙදෙනා උපන් බවත්,  ජනප්‍රවාදයේ කියැවේ. පසුව තම බිරිඳ හා දරු දෙදෙනාට අවශ්‍ය සියලු දේ සිංහයා විසින් සැපයූ නමුත් ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටත යාම තහනම් විය. ටික කාලයක් යද්දි සිංහබාහු වැඩි වියට පැමිණ තම මව හා තම නැගණිය සමග පියා විසින් ගල් ගුහාවක සිර කර තැබීම මහත් ප්‍රශ්නයක් ගෙන දෙන කරුණක් වූ අතර සිංහබාහුට වයස් දහයක් වූ කළ , එම විසල් ගල් පෙරළා තම මව හා සොයුරිය සමග වංග දේශය අගනුවර වෙත බලා ගිය බව සඳහන් වේ. ඉන්පසු මේ පිළිබඳව අතිශය දුකට පත් සිංහයා වියරු වැටී ගම් වලට පැන මිනිසුන් මරා දැමූ බවත්, සිංහල මැරීමට කිසිත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තම ලෙයින් උපන් දරුවා වූ සිංහබාහු විසින් තම පියා ඝාතනය කිරීමේ කතා පුවතක් මේ නාට්‍ය කෘතිය තුළ අන්තර්ගත වෙයි.

      සරච්චන්ද්‍ර සිංහබාහු කෘතියට සිංහල ජාතිය උපත පිළිබඳ මෙකී ජනප්‍රවාද තේමා කොට ගෙන මෙම කතා පුවත දෘශ්‍ය කාව්‍යයකට නැගීමේදී මුල්ම බීජය එතුමාගේ සිත්හි ජනිත වූයේ මහා වග්ග පාලියේ එන සුදසුන් රජතුමා බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් බව ප්‍රකට කරුණකි.

  " පුත්‍ර ප්‍රේමය වනාහි හම සිඳි , හම සිඳ මස් සිඳි, නහර සිඳ  ඇට සිඳි ඇට සිඳ ඇට මිදුලු තෙක් කිදා බැස එහි රැඳී සිටි" යන්නයි.

        මෙම නාට්‍ය කෘතිය තුළින් මානව සබඳතා කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි. එනම්,

        සැමියා - බිරිඳ 

        පියා       - දරුවන්               

        මව       - දරුවන්

       දරුවන්  - දරුවන්


      මෙහිදී ලේ ඥාතීත්වය මත හා දාරක ස්නේහය මත විවිධ ශක්තිමත් මානව සබඳතා ගොඩනගා ගෙන ඇති ආකාරයත්, එය හරහා බැඳීම් නිර්මාණය වීම හා ඒවා බිඳී යාම පිළිබඳව ඉදිරිපත් කර ඇත.එහිදී විශේෂයෙන් සැමියා හා බිරිඳ යන මානව සබඳතාවය ගත් විට සරච්චන්ද්‍රයන් විසින් මෙය දකින්නේ වෙනම ආකාරයකටය. එහිදී සාමාන්‍ය සමාජයේ දකින්නට ලැබෙන කාන්තාව හා පුරුෂයන් අතර තිබෙන සැමියා බිරිද සම්බන්ධ ට වඩා කාන්තාවන් හා සත්වයෙකු වන සිංහයා අතර තිබෙන ආදරය,  සම්බන්ධතාවය,  ප්‍රේමය යන්න අපූර්ව ආකාරයට ඉදිරිපත් කරනු ලබයි .

    එම කෘතියේ සඳහන් පරිදි සුප්පා දේවිය නම් බිරිඳ සිංහයා නම් වූ ස්වාමියාට ආදරය දක්වන ආකාරය පිළිබඳව මෙසේ සඳහන් වී ඇත .

"අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා වැනූ පොරණ කිවිදුන් සොඳ

 රසමුසු බසිනා

 සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ

 සව් සැප දෙන සිතුමිණ වන් 

ප්‍රේමය සන්දා"

     මේ දෙබස් හරහා සුප්පා දේවිය තම ස්වාමියා වූ සිංහයා හට කොතරම් ආදරයක් තිබුණේ ද යත් තමාගේ රජ සැප සියල්ල තම ස්වාමියා නිසා අත්හරි. එම දෙබස හරහා මා හට දැනෙන දෙයක් වන්නේ ස්ත්‍රියකට යම් ආදරයක්  යම් කෙනෙකු පිළිබඳව ඇති වුනොත් තමන් ආදරය කරන්නේ මිනිසෙකුටද , සතෙකුටද කිසිත්  සොයා නොබලන අතර හුදු ආදරය සඳහා ම පමණක් ම ඇය තම විරුද්ධ ලිංගිකයා ට ආදරේ කරනු ලබයි. මේ ජීව විද්‍යාත්මක වුවද සිදුවන දෙයකි. ස්ත්‍රිකගේ ලිංගිකත්වය සඳහා ක්‍රියාත්මක වන්නාවූ හෝමෝනය ක්‍රියාත්මක වීම නිසාවෙන් එම පුද්ගලයාට ආදරේ කරන අතර ඇයට කෙතරම් පුද්ගලයන් ඉන්පසු හමු උනත් ඒ කිසිදු පුද්ගලයෙකුට තමා පෙර එම පුද්ගලයාට ආදරේ කළා මෙන් ඇල්මක් අන් කවර  පුද්ගලයෙකුට වුවද දිය නොහැකි වේ. අද සමාජයේද මම මෙවැනි සුප්පා දෙවියන් ඕනෑතරම් දැක ඇත. උදාහරණයක්  ලෙස මා හට හමුවූ කාන්තාවක් පවසා සිටියේ ඇයගේ ස්වාමියා බීමට තදින් ඇබ්බැහි වූ අයෙක් බවයි. බීමත්ව පැමිණෙන සෑම දිනකම මෙම පුද්ගලයා ඒ කාන්තාවට පහර දෙන බවත් ඇය මා සමග පැවසුවාය. ඉන්පසු මා ඇයත් සමග පැවසුවේ එවැනි පුද්ගලයකු සමඟ සිටිමින් ජීවිතය විඳීමට වඩා තමා තනිව ජීවත් වෙන එක නුවණට සුදුසු බවයි. නමුත් ඇය පැවසුවේ ඇය ඒ පුද්ගලයාට  ආදරේ කරන බවත් එතැන ඒ පුද්ගලියා කොතරම් නරක පුද්ගලයෙක් වුවත් ඒ ආදරය නිසාම ඇය ඒ සියලු වේදනා විදගන්නා බවත්ය.  ස්ත්‍රියකගේ ප්‍රේමය එවැන්නෙකි.

      එමෙන්ම සරච්චින්ද්‍රයන් විසින් පියා හා දරුවන් පිළිබඳව ඇති බැඳීම්ද මේ කෘතිය තුළින් විග්‍රහ කරනු ලබයි. එහිදී සිංහයා හා සිංහසීවලී අතරත්, සිංහයා හා සිංහබාහු අතරත් ඇති බැඳීම  ඉදිරිපත් කරනු ලබයි සිංහයා හා සිංහසීවලී අතර ඇති බැඳීම ගත්විට එය ජීව විද්‍යාත්මකව හා මනෝවිද්‍යාත්මක විරුද්ධ ලිංගිකයන් වීම නිසා පියකු වැඩියෙන්ම ආදරේ දියනියන්ට වෙයි. එය මේ කෘතිය තුළින් සඳහන් කරනු ලබන අවස්ථාවක් ලෙස තම දියණිය තම පුතා සමග තමා හැර යාම පිළිබඳ සිංහයා කම්පා වන අවස්ථාවේ සිංහයා විසින් ඉදිරිපත් කරන පාඨය තුළින් ගම්‍යමාන වෙයි. 

"සුරතල් දියණිය මොළකැටි වදනින

 මා සනසන්නිය අහර පිසන්නිය 

කාවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය

 වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය.

ඇයි සුදු දුවනිය  නුඹවත් නොසිටියෙ 

සොහොයුරා නම් ඔලමොල ගති ඇත 

නුඹ මෙන් මෘදු නැත ඔහුගේ අණටද කීකරු

 වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී....'

    පියෙකු දියණියකගෙන් බලාපොරොත්තු වන්නා වූ  ආදරය, සෙනෙහස අද සමාජය තුළ බොහෝ විට අවම මට්ටමක පවතී .

     උදාහරණයක් ලෙස සිංහයාට වූ දෙය මෙන් අද සමාජයේ ඇතැම් පියවරු තම පණ මෙන් ආදරය කළ දියණිය  තමා දමා  යාම නිසා දුක් විඳින අයුරු ඕනෑ තරම් දැක ගත හැකිය. එමෙන්ම සිංහයා හා සිංහබාහු තුළ තිබෙන බැඳීම පිළිබඳව විශේෂයෙන් මේ කෘතිය  තුලින් ඉදිරිපත් කරනු ලබයි. සිංහබාහු මේ කෘතිය තුළ සඳහන් කරනු  ලබන්නේ යෞවනයකු ලෙසයි. සිංහයෙකුගෙ මෙන් බාහු ඇති ශාරීරිකව ශක්තිමත් කෙනෙකු ලෙස සර්ච්චින්ද්‍රයන් සිංහබාහු දකී. සෑම පිරිමි දරුවෙක් ම යෞවන වයසේදී මනෝ විද්‍යාත්මකව  සිදුවන ක්‍රියාවක් වන්නේ එම පිරිමි දරුවාගේ පියා තමාට වඩා කිසිත් දන්නේ නැති අත්දැකීම් නැති තමා පමණක් සියල්ල දන්නා කෙනෙකු බව තමා සිතීමයි.එය පසුකාලීනව තමාට වැටහෙන දෙයක් වන අතර කුඩා කල තමා රජෙකු ලෙස හැඳින්වූ තම පියාව තමා යෞවනත්වයට එළැඹීම හරහා තම පියා හතුරෙකු ලෙස දකී.එය  සාමානය්‍යෙන් සිදුවන මනෝ විද්‍යානුකූල කාරණාවක් මත වෙයි.(එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ,  අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගේ තාත්තේ.. ගීතය සඳහන් වන්නේ ද මෙවැනිම වූ දෙයකි )

     සිංහබාහු කෘතිය තුළ දී දක්වන්නෙද එවැනිම වූ මනෝ විද්‍යාත්මක කාරණාවක් වන අතර එහි උච්චතම අවස්ථාව ලෙස සිංහබාහු විසින් සිංහයා මරා දැමීම සිදු කරනු ලබයි. මෙම කෘතිය තුළ සිංහයාට සිංහබාහු විසින් ඊතලයෙන් විඳා මරන්නට සැරසෙන අවස්ථාවේ සිංහයා විසින් තම පුතුට තිබෙන ආදරය ප්‍රකාශ කරන අන්දම පහත පාඨය හරහා ඉදිරිපත් කරනු ලබයි.

   " ප්‍රේමයෙන් මේ පුතා නොවේදෝ අන්තරායන් රැකගෙන

 වනයේ මා මරන්නට දැන් එන් මෙලෙසා

 ඔද වැඩි හින්දාදෝ යෞවනේ මානය බිඳ හැරලා ලන්නෙමි 

 මෙ වරා දෙන්නමි  දඩුවම් ඔලාමොල කමටා..."

      එමෙන්ම මව හා දරුවන් අතර තිබෙන බැඳීම සරච්චන්ද්‍රයන් සිංහබාහු හා සුප්පා දේවිය හරහාත් සිංහ සීවලි හා සුප්පාදේවිය හරහාත් ඉදිරිපත් කරනු ලබයි. එහිදි විශේෂයෙන් මව හා පුතා යන බැඳීම ගත් විට මවක්  තම පුතුට කෙතරම් වයස මුහුකුරා ගියත් තම පුතා කියන දෙයට එකඟ වීමක් සමාජය තුළ දක්නට ලැබෙන දෙයකි.එම ගුණය මේ කෘතිය තුළ ද සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරනු ලබයි. එම ගුණය නිසාවෙන් සුප්පා දේවිය තමන් ගේ පුතාගේ කීම අසා ගල් ගුහාවෙන් පිටව යාම අනුමත කරනු ලබයි ."මේ රුදු දෝසා කල මේ දේ 

"මා පුතු නොතකා විපාකේ.

මුව පත්වූයේ නියත විනාසේ 

මේ මොහොතේ කිම් කර නේම්දෝ

මුලාවී මඟ නො පෙනේ යන්නට වේ දැන් සැමියා 

හැර වන වාසෙන්  මේ පුතු සමගා

දරුවන් දෙදෙනා හට සෙත් ලැබෙනා මඟ ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි වේලේ

 දෙවියන් බාරයි මා සමිදා

 මා වෙත නොවෙනුය කෝපා 

දරුවන් සන්ඳා කරනේවූ මේ බන්දා 

සිහිවේ හැමකල් හද සෝකෙන්

 සමා වනු ඇත වරදා....." 

එම දෙබස් කාණ්ඩය හරහා ඉදිරිපත් වන්නේ ද සුප්පා දේවිය තම පුතුගේ කීම අනුමත කරමින් තමා ඉතා ආදරය කළ ස්වාමියා හැරදා යාමට තීරණය කිරීමයි.මවකට පුතෙක් රජ පැටියෙක්ය. සෑම මවක්ම ශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරිපිටට ගොස් ඉල්ලන්නේ පුතෙක්ය ( සිරිමා බෝ සමිඳුනි මට පිරිමි පුතෙක් දෙන්නයි). ඊට හේතුව තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයාමත් , විරුද්ධ ලිංගිකත්වය මෙන්ම තමන්ගේ ස්වාමියාට තමාට නොමැති වූ අවස්ථාවක වුවත් තමන්ට හයියක් පිළිසරණක් ලෙස තම පුතාගේ කීමට අනුමත වන බව ඉතාමත් වැඩිය. වර්තමානය වෙද්දි නැන්දම්මා හා ලේලිය අතර ආරවුල් ඇතිවීමට ප්‍රධාන හේතුව මේ බව දැක්විය හැකිය. එමෙන්ම  මව හා දියණිය අතර ඇති බැඳීම, මව හා පුතා අතර ඇති බැඳීම ට වඩා වෙනස්ය.මෙහිදී තම දියණියන් රැකගන්න ආකාරය ආදියත්, දියණියක තම මවට ඇති ආදරයත් මෙම කෘතිය තුල  සඳහන් පාඨයන් හරහා ඉදිරිපත් කළ හැකිය.(සුප්පා දෙවිය තමා රාජ කුමාරියක් බව පැවසීමට යන අවස්ථාව)

" නිරතුරු රැකි පෙමිනා නොමද?

 මොළකැටි මා හා  සොයුරු දා ඔබ ගැන නොසිතන්නෙමු වරාදා

නොඅඩුව පිරි ඉතිරෙයි නිබඳා 

බැතියෙන් අප දෙහදා...."

එමෙන්ම දරුවන් හා දරුවන් අතර ඇති බැඳීම මනාව ගෙනහැර දැක් වීමත් මේ කෘතිය තුළින් ඉදිරිපත් කරයි. එහිදී අයියෙකු හා  නංගියෙකු අතර ඇති බැඳීම සමලිංගික සහෝදරයන් හෝ සහෝදරියන්ට වඩා වෙනස්ය .එහිදී අයියා කෙනෙක් හමුවේ නංගි කෙනෙක් තම අයියාව දකින්නේ තම පියා මෙනි. ඒ තරම් ආදරයක්, රැකවරණයක් තම සහෝදරයාගේ කීමට අවනත වීමටද ඇයට සිදුවන්නේ තමා අසරණ වී ඇති බැවිනි. මෙම කෘතියේ එක්තරා අවස්ථාවක සිංහබාහු සිංහසීවලී හා සුප්පා දේවිය සමගින් ලෙනෙන්  පිටත් වීමට යන අදහස ඉදිරිපත් කල විට සිංහ සීවලී පවසන්නේ තමන්ගේ පියා දමා යා නොහැකි බවයි. නමුත් තමන්ට අවසානයේ තමන්ගේ සහෝදරයාගේ කීමට අවනත වීමට සිදුවෙයි .

"මා පියා හැර දමා යන්නේ අප කෙලෙසදෝ  වලට ගොස් විඩා වී පැමිණ විට නැත කෙනෙක් 

අහර පිස දෙන්ටා හුදෙකලා මේ ලේනේ ඉන්නේ ඔහු කෙලෙසදෝ නැද්ද වෙන පියාණන් ආදරය ඔබ හදේ 

මෙවන් දේ කියන්ට සොයුරනි පෙම්බරා.." මෙම කෘතිය ලිවීමට පාදක වූ තවත් සිද්ධියක් ලෙස ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ වූ සිද්ධියක් ගත හැකිය. එහිදී ඔහුගේ පළමු විවාහය ඔහු හැර යන අතර පළමු විවාහයෙන් ඔහුට සිටියේද පුතෙක් හා දුවෙක්ය. එම දියණිය ඔහුට  අසීමිතව ආදරය කළ අයකු වූ අතර පුතා ද මේ කෘතිය සඳහන් සිංහබාහු මෙන් දැඩි තීරණ ගන්නා අයකු විය. ඔහුගේ පළමු බිරිඳ මොහුගෙන් දික්කසාද වන අතර ඇය සරච්චන්ද්‍රයන්ගෙන් දික්කසාද වූ පසු තම දරු දෙදෙනා ද රැගෙන ගොස් ඇති අතර එකී පුවත ද මෙම සිංහබාහු  කෘතිය ලිවීම සඳහා පාදක වී ඇති බව සරච්චන්ද්‍රයන් එක්තරා අවස්ථාවක  දක්වා ඇත. මේයාකරව  ශෛලිගත භාශා රීතියකින් යුක්තව මානව හැඟීම් වල ගැඹුරු ම තැන් ස්පර්ශ කිරීම සඳහා සරච්චන්ද්‍රයන් යොදාගත් භාෂාවත්, විවිධ අවස්ථාවන් හද කම්පා කරන ආකාරය ලියා තැබීමත් ඒවා පාඨකයා ගේ සිතේ රිදීමක් ඇති කරන තරමට පාඨක සිත දැන හැඳිනගෙන  රචනා කිරීමත් පුදුම සහගත දෙයකි. පාඨකයා  ඥානයට ගෙන යාමට තරම් මෙම  කෘතිය ඉවහල් වූ බවක් මා හට සඳහන් කළ හැකිය .අවසාන වශයෙන් සඳහන් කළ හැකි වන්නේ මෙම සිංහබාහු කතාව එදා මෙන්ම අදත් ,අද මෙන්ම හෙටත් වලංගු වන්නා වූ සමාජය තුළ  තිබෙන සදාතනික සත්‍යයක් බවයි .සමස්තයක් වශයෙන් ගත් කළ ස්වකීය පරිපාකයට පත් බුද්ධි මහිමය නිර්මාණශීලී බවකිනුත්, අසමසම ප්‍රතිභාවෙනුත්, සකල කලා පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති අපේ සංස්කෘතික විඥානය අතැඹුලක් සේ ග්‍රහණය කරගත් සරච්චන්ද්‍රයන්ගේ මෙම අසමසම දෘශ්‍ය කාව්‍ය වූ සිංහබාහු වසර පනහකටත් පසුව අද පවා සිංහල නාට්‍ය වංශයේ සදා තාරුණ්‍යයෙන් හෙබි කලාකෘතිය බැව් සඳහන් කිරීම වටී.


Comments

Post a Comment