මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං කෘතිය.

          පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ කුණු සෝදපු මිනිසුන්ට ඒ පිරිසිදු රෙදි ඇඳගත් මිනිසුන් විසින් දුන් තුටු පඬුර ඒ මිනිසුන්ගේ සංතානය කිලුටු කරපු එකයි. ඒ හිත කිලුටු කරපු කතාවේ සංවේදී සලකුණ සෙංකොට්ටං ය. 2012 වසරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සෙංකොට්ටං නවකතාව සම්මානනීය කෘතියක් බවට පත්විය.

          මේ විසිවන සියවසේ ලංකාවේ සබරගමු පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශය ආශ්‍රිත වූ නොදියුණු ගමක රදක කුලයේ ඈයන්ගේ ජීවන පුවතින් සැකසූවකි. කුලවාදයට තෝතැන්නක් වූ රත්නපුරය දිස්ත්‍රික්කයේ රෙදි සෝදන්නන් විසින් අත්දුටු කුලීනයන්ගේ ක්‍රියාකලාපය සැලකිලි හා පිලිකෙව් කිරීම් හිංසා පීඩාවන් පදනම්කරගත් අතිශය සංවේදී කතා පෙළගැස්මකි. කුලවාදය ඉතා හොඳින් පැලපදියම් වූ ප්‍රදේශයක සිටම කුලවාදයට එල්ල කළ දැවැන්ත පහරක් ලෙස මේ කෘතිය හඳුන්වාදිය හැකිය.

          වීරප්පුලි හේන්යා ඇතුලු සියලුදෙනාගේම වෘත්තිය වන්නේ රෙදි ඇපිල්ලීම හා කොටහළු චාරිත්‍රයන් ඉටු කිරීමයි. මෙම වෘත්තිය හේතුකොට ගෙන ඔවුහු සමාජයේ පහත් කුල හීන පිරිසක් ලෙස අඩු සැලකිලි ලබයි. ඔහුගේ වැඩිමහළු දියණිය වන පොඩිනා සාහසිකයෙකුගේ ගොදුරක් බවට පත්ව මිය යයි. කුඩා දියණිය වන හීන් රිදී බබානිස් නමැති තරුණයෙකු සමග පැන යයි. ඔහුගේ පුතුද ගම හැර ගොසිනි. මේ සියල්ලෙන්ම කම්පිතවන වීරප්පුලි හේනයාගේ එකම සැනසුම වන්නේ තම මුණුපුරා වන බබා හේන්යා පිළිබඳවය. බබා හේන්යා රත්නපුරයට ගොස් ලද අධ්‍යාපනයත් සමග විශාල ව්‍යාපාරකයෙකු බවට පත්වෙයි. වසර ගණනාවකට පසු ඔහු සිය මිණිබිරියගේ අවශ්‍යතාවයක් මත යලි ගමට පැමිණේ. ගම මුළුමනින්ම වෙනස්වී ඇති බව දකිනා ඔහු සිය අතීත සුවඳ විඳී.

          මෙහි ප්‍රධාන චරිත ද්විත්වය ලෙස ඉස්මතු වන්නේ වීරප්පුලි හේන්යාගේ සහ කේන්ද්‍රීය චරිතය වූ බබා හේන්යාගේ චරිතයයි. කුලය පිළබඳ බැඳුණු ජිවිතයේ පරිවර්තනයට පෙර යුගය පෙන්වීමට කේන්ද්‍රීය චරිතය මෙන්ම අද්විතීය ලෙස නිරූපිත වීරප්පුලි හේන්යාගේ චරිතය හා බබා හේන්යාගේ කුඩා කාලයද අන්තර් යුගය හා පසුයුගය පෙන්වීමට බබා හේන්යාගේ චරිතය හා වයෝවෘද්ධ අවස්ථාවන් කතුවරයා පාඨකයන් අසලට සමීප කරවයි. කුලවාදය පැලපදියම් වූ සමාජයක මිනිසුන්ගේ සමාජීය මෙන්ම මානසික පීඩනයද චරිත හැසිරෙන ආකාරය මගින් විවරණය කරන නිර්මාණයකි. ඒ බව නිර්මාණකරුවා පාඨකයා අතරට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ වීරප්පුලි හේන්යාගේ චරිතය හා ඒ ඔස්සේ ඉස්මතු කොට ගොඩ නගන බබා හේන්යාගේ චරිතයයි. මල්මා රිදී, පොඩිනා, හීන් රිදී මෙහි පණ පොවන තවත් චරිත ලෙස හඳුන්වාදිය හැක.

          මුල් කාලයෙ බබා හේන්යා ලෙසද පසුකාලයේ වික්ටර් සූරතිස්ස ලෙසද, පාඨකයා අතරට මෙම චරිතය සමීප වෙයි. නමුත් බබා හේන්යා විසින් සිය නම වෙනස් කලද, කුලය පිළිබඳ හීනමානය හෙවනැල්ලක් සේ ඔහු පසුපස හඹා එයි. පුද්ගලයා ධනයෙන්, අධ්‍යාපනයෙන් පෝෂිත වූවත්, කුල හීනමානය වලදැමිය නොහැකි සමාජ වණයක් බව බබා හේන්යාගේ චරිතයෙන් පිළිබිඹු වෙයි.

          මෙම නවකතාවේ කථකයා සම්පූර්ණයෙන් සැඟවීම හෙවත් අතුරුදහන්ව සිටීම විශේෂතාවයකි. මෙමගින් සිදුව ඇත්තේ චරිත පිළබඳ අභ්‍යන්තර හා භාහිර සියලු තතු සම්පූර්ණයෙන් දන්නා ලේඛකයා විසින් අවශ්‍ය පරිදි පාඨකයා ඒ ඒ චරිත හා සිදුවීම් තුලට රැගෙන යාමයි. කතුවරයා පවසන පරිදි මෙම උත්තම පුරුෂ කථන ක්‍රමයයි. නමුත් අප උගෙන ඇති උපක්‍රමයන් හා සසඳා බලන කල අපට දැනෙන අයුරින් මෙය ප්‍රථම පුරුෂ සර්වවේදී පුර්ණ වේ. කතුවරයා මෙය උත්තම පුරුෂ යැයි කියන්නේ පිටස්තරයෙකුව හිඳ ඔහු එම කතාව කියන බැවිනි.

          කාලයත් සමග කුලවාදය සඟවා තැබීමෙන් බබා හේන්යා තම ජීවිත අභිවෘද්ධිය කරා ගමන් කරයි. අවසානයේ ඔහු වෙළඳ ව්‍යාපාර රැසක හිමිකරු බවට පත්වී කුලීනයන් පවා තමන් යටතේ සේවයට ගනිමින් මේ කුලහින වූ බබා හේන්යා යන තම නමද වෙනස් කර සමාජයේ ඉහලටම ගමන් කරයි. 1930 ගණන් වල පැවති අතින් රෙදි සෝදා කුලීනයන් වෙත ලබාදුන් කරත්ත මගින් ගමන් කළ මෝටර් රථද සීමිත ලෙස පැවති අහිංසක කුලහීන ගැමියන් විසින් බස් රියෙන් බැසිය යුතු ස්ථානය නොදැන මග ඇරේයයි බියෙන් ගව් ගණනක් දුර යන කාලසීමාවක් හා සමාජ සංස්කෘතික පසුබිමක්, ව්‍යාජ ගතියක් නොදැනෙන පරිදි ලේඛකයා ඉදිරිපත් කර ඇත. අවසාන පරිච්ඡේදයේ දැක්වෙන,

        “මෙයට වසර හැත්තෑවකට පෙර කතාවකට ඔහුට අද යළිත් පිවිසීමට සිදුවී තිබේ.” යනුවෙනි.

          කතා වින්‍යාසය අනුව කාලය වර්තමානය සහ අතීතය අතර දෝලනය වන අතර, සිරිලක සබරගමුව පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශයේ නොදියුණු ගමක් ලෙස රිදීවිට දක්වා ඇත.

          නිර්මාණයක් ගොඩනැගී තිබෙන්නේ භාෂාව මතය. මෙහි ඔහු යොදාගෙන තිබෙන්නේ පණ්ඩිතමානී භාෂාවක් නොව සරල කාව්‍යාත්මක භාෂාවකි. භාෂාව සිනමාවේදී ලෙස ඉදිරිපත් කර ඇත. බබා හේන්යා පාසලට භාරදීමට ගොස් පාසලෙන් නික්ම යලිත් ආපසු හැරී යලිත් පාසල දෙස හැරීම මෙයට නිදසුනකි. පොඩිනා වල් නයිදේ අතින් දූෂණය වූ අවස්ථාව චිත්තරූප නංවමින් නිමවා ඇත. එමෙන්ම “ඇටකිච්චෝ”, “අනුරාජපුරේ”, “රේන්දය”, “නයිදේ” යන වචන ඇසුරින් නිරූපණය වන්නේ ගැමි බස්වහර හා ගැමි සංස්කෘතිය වේ. මෙහි සංකේතද බහුලව යොදාගෙන ඇත. සෙංකොට්ටං යන නම සංකේතයකි. සෙංකොට්ටං නාමයේ “න්” කපා “o” දමා තිබෙන්නේ සෙංකොට්ටං විසින් සලකුණක් දැමූ විට එය මකා දැමිය නොහැකි බව අවධාරණය කරනු පිණිසය. ලොව පවත්නා සත්‍ය අසත්‍යයයෙන් වෙන්කර තැබුවත් සත්‍ය සෙංකොට්ටං සලකුණක් සේ සදා නොමැකී පවතී.

          බබානිස් හා ඔහුගේ මව තුළින් පහත් කුල අතරද, කුලවාදය පවතින බව කතුවරයා මනාව නිරූපණය කර ඇත.

          “රදා හැත්ත එවාපිය මගේ ගෑණිව.”

         “අපිට නම් කොහෙත්ම උවමනාවක් නෑ රදා උන් එක්කලා නෑකම් පවත්වන්න.”

          උප ප්‍රධාන චරිතයක් ලෙස පොඩිනාගේ චරිතය හඳුන්වාදිය හැකිය. පොදුවේ ස්ත්‍රිය ලැබීමට බලාපොරොත්තුවන ආදරයක් සොයා යන තමන්ගේ සිත අනුව ක්‍රියාකරන අවස්ථානෝචිත නිර්භීත යම් අවස්ථාවලදී කලබලකාරී ලෙස ක්‍රියාකරන චරිතයකි. ඇගේ සිත ආදරය වෙනුවෙන් ක්‍රියා කරන්නේ “තමා මෙතෙක් කල් සෙවූ පෙම්වතා හමුවූ බව පමණක් සිතා...” තමාට එකී ආදරය සදාකල් නොලැබෙන බව දැන දැන වුවද සාමාන්‍ය ස්ත්‍රියක් සේ මෙහිදී ඇය මුලා වූවාය.

          අතීතයේ රජවරුන්ට ද්‍රෝහීවීම හෝ අකටයුතුකම් නිසා උසස් කුලවල රජදරුවන් පවා ඉතා පහත් කුලවලට නෙරපීම රජයේ අවශ්‍යතාවය සඳහා වැඩකටයුතු බෙදා ගැනීමෙන් එක් එක් කුලවලට සමාජය වෙන්වූ ආකාරයත් නිසා මිනිසුන් විවිධ ස්ථරවලට බෙදීගොස් මිනිසුන් අතර ඇතිවූ කුල භේදය මිනිසුන් විසින් පීඩනයට ලක්කිරීම මනුෂ්‍යත්වයෙන් තොරවීමක් බව ඒත්තු ගැන්වේ.

          ඉතාම සංවේදී අතිශය සාමාන්‍ය ලෙස රචිත නවකතාවකි. නවකතාවක් එය සාමාන්‍ය හුරුපුරුදු තෙතමනය නිසාම අපූර්වත්වයෙන් යුතුය. මෙහි අවසානයේ එන වර්තමාන කතාව මුල් කතාව විකාශනයෙන් දශක හයක් පමණ දීර්ඝ කාල පරාසයකට පසුව දක්වා තිබීම දුර්වලතාවයකැයි සිතේ. එහි එක් පරම්පරාවක කතා පුවතක් නැති හිඩස පාඨකයාට දැනේ.

          කුලය යනු ආරෝපිත තත්ත්වයකි. නමුත් සමාජ චල්‍යතාවය තුලින් සාධිත තත්ත්වයන් ඇතිකරගත හැකි බව සෙංකොට්ටං නවකතාව තුලින් ඉස්මතු කර ඇත.





Comments

Post a Comment