එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය කෘතිය

      චුල්ල ධනුද්දර හෙවත් පොඩි දුනුවායා ජාතක කතාව පාදක කරගෙන එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියු තවත්  නාටකයක් ලෙස මනමේ නාට්‍ය කෘතිය ගත හැකිය.

      ප්‍රේමය හා කාන්තා චපලත්වය පිළිබඳව සානුකම්පිත දයාවක්  මෙම කෘතිය තුළින් සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කර ඇති බව දැක්විය හැකිය. තක්සලාවේ ඇදුරුතුමාගේ යටතේ අකුරු කළ මනමේ කුමරු ඇතුළු පිරිස ගෙන් දුනු ශිල්පය හොඳින්ම හැදෑරූ ශිෂ්‍යයා වූයේ, මනමේ කුමරු වෙයි. ඒ නිසා මනමේ කුමරුට තමාගේ දියණිය සරණ පාවා දීමට ඇදුරු තුමා කටයුතු කළේය. ඉන්පසු මනමේ කුමරිය හා මනමේ කුමරා විවාහ වී ගම් දනව් කරා යන අවස්ථාවේදී වනාන්තරයේ වැදි රජෙකු මොවුන්ට හමුවිය. එහිදී වැදි රජුට කුමරිය ගැන ආලයක් ඇතිවන අතර මනමේ කුමරා, කුමරිය බේරා ගැනීම සඳහා කුමරිය සතුව ඇති කඩුව ඉල්ලයි.එහිදී කුමරිය කඩුව ලබාදෙන්නේ වැදි රජුට වන අතර, පසුව වැදි රජු විසින් මනමේ කුමරා මරා දමයි.                   

         මෙම කෘතිය තුළ   සරච්චන්ද්‍රයන් විසින් උපමාලංකාර යොදාගනිමින් ප්‍රේමය හමුවේ ස්වභාවිකත්වයෙන් යුත්  පරිසරය එකී ප්‍රේමය ට අනුව හැඩ ගස්වා ඇති ආකාරය මොනවට පැහැදිලි කරයි.                       

         උදාහරණයක් ලෙස මනමේ කුමාරයාගේ දෙබසක් වන

     "වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ, මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ ශෝභාව නරඹමින් යනවිට, ගමන් විඩාව ඉබේම මඟහැරෙයි. සොඳුරු වන රැජිණද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නි අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය...."

    යන දෙබස් කාණ්ඩය තුළින් ඔවුන්ගේ ප්‍රේමයට පරිසරය හැඩ ගැසී ඇති ආකාරය වචන හරහා දැවීමට සරච්චන්ද්‍ර කටයුතු කර ඇත.

එමෙන්ම මනමේහි ප්‍රසිද්ධ කීපයක් වන              "ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ"  යන ගීතය තුලින් ඔවුන්ගේ ප්‍රේමය හා ඒ ප්‍රේමයට පරිසරය විසින් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සරච්චන්ද්‍රයන් විසින් කාව්‍යාත්මක හා උපමාලංකාර යොදා ගනිමින් ඉදිරිපත්කර ඇත . 

  කුමරු - "ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ

               පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ

               ආලයෙන් වෙළි සැදි මෙ ලතා 

                මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජුදුගේ

කුමරිය -  කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි 

                රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු 

                 සෑම දෙසේ සංගීත ඇසේ පිපි තබරණ නද බඹරන පිය රැව් දෙන ලිය කිඳුරන

         සැබෑ ජීවිතය වුවද ප්‍රේමවන්තයන් දෙනෙක් මුණ ගැසෙද්දී ඔවුන් වටා තිබෙන පරිසරය ඉතා නිස්කලංක වූ , සෞම්‍ය වූ පරිසරයක් මෙන්ම ඔවුන්ගේ ප්‍රේමයට උපකාර කරන පරිසරයක් වැනි අවස්ථාවක් ඔවුන්ට ගොඩනැගුණි. මනමේ කෘතිය තුළ සඳහන් වන්නේ ද එවැනිම වූ දෙයකි. 

      එහිදී මනමේ කුමරු, මනමේ කුමරිය, වැදි රජු චරිතයත් විවිධාකාර ආකාරයට සරච්චන්ද්‍ර ඉදිරිපත් කර ඇත. මනමේ කුමාරයා තම ගුරුවරයාට වඩා භක්තිවන්ත වූ ගෝලයෙකි. ඒ බව සරච්චන්ද්‍ර විසින් තම කෘතිය තුළ එක්තරා අවස්ථාවක මෙසේ සඳහන් කර ඇත.                   

           "සියරටට යාම සඳහා ඔබ තුමාගෙන් සමුගන්න පැමිණියෙමි. රාජ ගුරුතුමාණෙනි, ළමා කල සිට මා කෙරේ පියකු මෙන් සිටි ඔබ තුමා ද බොහෝ කල් ඇසුරු කළ මේ මිතුරන් හැර පියා යන්නේ මහා දුකකිනි...."

එහිදී මනමේ කුමාරයා යනු ශිල්ප දැක්වීමේ ප්‍රවීණයකු බවත්, ගුරුවරයාට ඉතා ලෙන්ගතුව ගරු කරන චරිතයක් බවත් මෙම චරිතය හරහා දක්වනු ලබයි. එමෙන්ම මනමේ කුමරියට ඉතාමත් ආදරයක්, ප්‍රේමයක් දක්වන මනමේ කුමරා තම කුමරිය රැකගැනීම සඳහා තම දිවි දෙවැනිකොට වනාන්තරයේ සිටින වැදි රජු ඉදිරියට පවා යයි. එය මෙම පාඨය හරහා  ගම්‍යමාන කරනු ලබයි.              

    " බය නොවන සොඳුර, ඔබ හිදින තුරා මේ දුන්නෙන් හා කඩුවෙන් මා ඔබව ආරක්ෂා කරමි...."

   මනමෙ කුමරිය පිළිබඳව සඳහන් කිරීමේදී මනමේ කතාව උඩු පිලෙන් පෙන්නුම් කරන මනමේ කුමරියට වඩා ව්‍යංගාර්ථයෙන් මනමේ කුමරිය පිළිබඳව සානුකම්පිත දයාවක් සරච්චන්ද්‍රයන් විසින් මෙම කෘතිය හරහා ගෙනහැර දක්වයි.                  

      මනමේ කෘතිය තුළ චරිත අතුරින් මනමේ බිසවගේ චරිතය කේන්ද්‍ර චරිතය වන අතර වඩාත් සංකීර්ණ චරිතය ලෙසද හදුන්වා දිය හැකිය.

      එහිදී බොහෝ විචාරකයන් කියා සිටින්නේ පතිද්‍රෝහී වීමක් මනමේ කුමරිය විසින් මනමේ කුමරුට සිදු කළ බවයි. නමුත් එය සැබැවින්ම පතිද්‍රෝහි වීමක් නොවන බව මා මෙම කෘතිය කියවීමෙන් මා හට දැනුණු දෙයකි. කාන්තාවන් සෑම විටම පිරිමියාගෙන් යැපීමට  කැමතිය. අද කාලයේ කොපමණ කාන්තාවන් පිරිමියෙකු නැතිව ස්වාධීන ජීවිතය ඉදිරියට ගෙන යාමට පුළුවන් බව කීවත් එය මුසාවකි. තමන්ගේ ජීවිතයේ කවරම හෝ දිනක කවරම හෝ අවස්ථාවක එම මතය එම කාන්තාවට වෙනස් කර ගැනීමට සිදුවෙයි. මන්ද කාන්තාවන් සෑම විටම පිරිමියෙකුගේ රැකවරණය ආරක්ෂාව පතයි. තමන්ගේ පැවැත්ම ඉදිරියට ගෙන යාම සඳහා පිරිමියකු සමග බැදේ.

මනමේ කුමරිය ද එසේය. බරණැස නුවර බලා මනමේ කුමාර සමග වනාන්තරයේ  යාමේ දී හමු වූ වැදි රජු ඉදිරියේ ඇය කල්පනාකාරීව කටයුතු කළ බවක් දැකගත හැකි බව මට හැඟෙයි. එහිදී ඇය හදිසියේ වත් කඩුව වැදි රජුට නොදී මනමේ කුමරුට දුන්නානම්, මනමේ කුමරු විසින් වැදි රජු මරා දමනවා නිසැකය. නමුත් වැදි රජුගේ සේනාව පැමිණ මොවුන් දෙදෙනාම මරා දැමීමට පුළුවන. ඒ නිසාම අද මනමේ කුමරිය තමාගේ ආරක්ෂාව පතා වැදි රජුට කඩුව පවරා දුන්නා ය. එය වැරදි දෙයක් ලෙස මා දකින්නේ නැත. මන්ද ඇය කාන්තාවකි,  යෞවනත්වයෙන් යුත් කාන්තාවකි. ඒ නිසාවෙන් ඇය වැදි රජුට කඩුව දෙන්නට ඇතැයි මට සිතෙයි. 

        කුමරිය වනාන්තරය තුළ බියට පත්වී සිටින ආකාරය සරච්චන්ද්‍ර මෙසේ සඳහන් කරයි 

      " වනයේ නෙක බිය පහවී යමිනේ

චංචල වූ සිත සැනසුම වින්දේ....."

        ඇය කෙතරම් බියට පත් වී සිටිනවාද යන්න හැඟේ. එමෙන්ම මනමේ කුමරාව වැදි රජු මරා දැමීමෙන් පසු වැදි රජු සිතන්නේ තමාගේ සැමියා මරා දැමීමට තමාට කඩුව දුන් ගැහැණිය ඒ අවස්ථාවේදී දුටු තමා සමග ගියොත් තමාට මොනවා නොකර සිටිද යන්නයි .වත්මන් සමාජයේ ද එසේ ය. ගැහැණිය යම් දෙයක් කළ පසු එය මතුපිටින් බලා තර්ක වලට එළැඹෙන  සමාජයක ස්ත්‍රී චපලත්වය යන්න මුල් බැසගෙන ඇත.   නමුත් මෙම කෘතිය හරහා  ව්‍යංගාර්ථවත්ව ස්ත්‍රිය දෙස වෙනස් ආකාරයකින් පාඨකයාට දෙන්නට සරච්චන්ද්‍ර විසින් උත්සාහයක් ගෙන ඇති බව පෙනේ. මෙම කෘතිය අවසාන භාගයේදී මනමේ බිසව විසින් රජුට කඩුව දීමට හේතුව පහදා දීම තුළින් ඇයගේ අසරණභාවය සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරයි.

"මා සැමියාගෙ අණ පරිදි ඔහුට එවෙලේ කඩුව දුන්නා නම්, ඔහු ඔබ මරා දමන්නේ ය. එයින් ඔබේ අතට  දෙන්ට මම වඩාත් කැමැත්තෙන් සිටියෙමි. කඩුව  ඔබට දීමට පෙර ඔබ එය උදුරා ගත්තේය...."

      ඉන්පසු උක්ත සදහන් කළ පරිදි වැදි රජ විසින් කුමරිය ප්‍රතික්ෂේප කර කැලයට වැදෙන ආකාරය ඉදිරිපත් කරයි. එසේ සිදු කිරීමට හේතුව වන්නේ තම සැමියා මැරීමට කඩුවක් දීමට පුළුවන් කතට මොනවා කිරීමට නොහැකිද යන්නයි. කාන්තාවගේ අසරණභාවය ඉදිරියේ පිරිමින් කටයුතු කරන ආකාරය ද මේ හරහා සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරනු ලබයි. 

     "වැදිරජ   - අන්ද මන්ද වූයේ මසිතා මේ පුවතින්

                      කිම්ද වූයේ නොදැනේ අරුමා

                      සරණ කර සිටි නරන හිමිහට 

                      කරන අනවින මෙවැනි බිහිසුණු 


    "බිසව  -  වෙන්ඩ කමා වැදි රජිදේ මෙම වරදට

                  බැන්ද සෙනෙහස හින්දා

                  චපල විය සිත ප්‍රබල ආලෙන් 

                  නොතලනය මා දුබල ජීවය 


"වැදීරජ   -  සින්දු ගෙලෙ සැමියා කවර සෙනේ

                   යන්ට යන වනේ නොසිටා

                   අමන ගති ඇති මෙවන් අගනන් 

                   මා වැනියන් හට කුමන සරණ ද ......"

          මනමේ කුමරිය ඒ අවස්ථාවේ මනමේ කුමරුට කඩුව දී වැදි රජු මැරුවත් නැවත ආපසු වැදි රජුගේ සේනාව පැමිණ ඔවුන් මරණ නිසාවෙන් හා ඉන් පසු තමා කැලේක තනිව අසරණ භයන්කාරව  සිටීමට සිදුවන නිසාවෙන් මනමේ කුමරිය ඒ තීරණයක් ගත්තත් අවසානයේ ඇයට උරුම වූයේද එයමය.

එමෙන්ම මේ කෘතිය අවසානයේ වැදි රජ විසින් කුමරිය වනය අතර දමා යන අවස්ථාවේ කියනු ලබන කෘතියේ සඳහන් ගීතය තුළින් ව්‍යංගාර්ථව  ගම්‍යමාන කරනු ලබන්නේ ඇය කෙරෙහි පාඨකයන්ට දයානුකම්පාවෙන් බලන ලෙස කරන ආයාචනයකින්ය. එම දෙබස් කෘතියේ, මෙසේ සඳහන් වේ .

    "නැද්ද සිතේ අනුකම්පා මෙමාහට නෑ මට අන් සරනා            

      වෙනු කරනු මා පෙම් වඩනා  රජිද්‍ර මනා 

       මා හැරා මා හැරා ඇයිද යන්නේ දැඩි සිතිනා

       වින්ඳ මෙවන් දුක මෝඩ මන ලොව නැද්ද වෙන අගනා

       තිලෝ පාලනා දෙවිඳුනි මා රකිනු මැන

        මා දෙසා මා දෙසා බලනය දයා ඇසිනා..."

         වැදි රජුගේ චරිතය පිළිබඳව මාගේ දෘෂ්ටිකෝණයට අනුව විවරණය කරනවා නම්, වර්තමාන ප්‍රේමවන්තයන් අතර ද වැදි රජවරුන් දැකිය හැකිය.

හොඳින් ප්‍රේම කරගෙන සිටින ප්‍රේමවන්තයන් හමුවට වැදි රජවරු පැමිණෙන බැවින් වර්තමාන සමාජයේ ද ඉතා ආදරයෙන් තම ජීවිතය ඉදිරියට ගෙන යන ප්‍රේමවන්තයන් වැදි රජවරු නිසාවෙන් තමන්ගේ උත්තරීතර වූ ප්‍රේමය අහිමි කර ගන්නා අවස්ථාවන් දැක ගත හැකිය. තවත් දෙයක් ලෙස දැක්විය හැක්කේ, එයාකාරයේ වැදි රජවරු නිසා අවසානය කවුරු වැරදි කරත් වැරැද්ද සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කාන්තාවට බවයි. අවසාන වශයෙන් සඳහන් කළ හැකි වන්නේ ප්‍රේමය නමැති සංවේදී වචනය මිනිස් සන්තාපය තුළ මුල් බැසගෙන ඇති ආකාරයත්, ප්‍රේමය හමුවේ කාන්තාවන් ක්‍රියා කරන ආකාරයත්,  පාඨකයන්ට දැනෙන සරල කෙටි බස් වහරකින් මනමේ චරිතය ඇසුරින් මනුශ්‍යත්වයට යොදා අත්දැකීමක් කෙරෙහි රසික සංවේදීතාවය ජනිත කරවීමට සරච්චන්ද්‍රයන් සමත් වී තිබෙන බවයි.


Comments

Post a Comment